sri-lankan-boyfriend-arrested-for-assaulting-tanzanian-girlfriend-in-biyagama

 සිය වීසා කාලය දීර්ඝ කර ගැනීමේ සතුට සැමරීම සඳහා පෙම්වතා සමඟ හෝටලයකට ගිය ටැංසානියානු ජාතික තරුණියකට එම පෙම්වතා විසින් පහර දීමේ සිද්ධියක් බියගම ප්‍රදේශයෙන් වාර්තා වේ. බියගම පොලිසිය සඳහන් කළේ, මෙම පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබන ඇයගේ ශ්‍රී ලාංකික පෙම්වතා ඊයේ (10) දිනයේදී අත්අඩංගුවට ගත් බවයි. පහර කෑමෙන් තුවාල ලැබූ විදේශීය තරුණිය මේ වන විට මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියෙකු පැවසීය.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. පොලිසිය පවසන පරිදි,


අදාළ විදෙස් තරුණිය පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඇය කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටියදී මෙම සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තිබේ.

ඇයට තවදුරටත් මෙරට රැඳී සිටීම සඳහා වීසා කාලය දික් කර ලැබීමෙන් පසු, එම සතුට සැමරීම සඳහා බියගම ප්‍රදේශයේ හෝටලයකට ගොස් බියර් පානය කිරීමට එක්වන ලෙස ඇය සිය පෙම්වතාට ආරාධනා කර ඇත. ඒ අනුව, ඊයේ (10) දහවල් කාලයේදී දෙදෙනා අදාළ හෝටලයට ගොස් බියර් පානය කරමින් සිටියදී, ඔවුන් අතර කිසියම් කරුණක් මුල් කරගෙන ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහර දීම සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

පහර කෑමට ලක් වූ විදේශීය තරුණිය විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ බියගම පොලිසිය, හෙළි වූ තොරතුරු මත ඇයගේ පෙම්වතා බව කියන තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.